Thursday, January 25, 2018

සන්නිවේදනයේ සොදුරු ආඥාදායකයා සයිබර් භාෂාව


මානව පරිණාමීය ක‍්‍රියාවලියේ සිට ම සන්නිවේදනය සඳහා උපස්ථම්භක වූ ප‍්‍රධානතම මාධ්‍යය වූයේ භාෂාවයි. එම භාෂාව වාචික මෙන්ම අවාචික සන්නිවේදන ක‍්‍රමයන්ගෙන් සංගෘහිත විය. එහිදී පුද්ගලාන්තර සම්බන්ධතා ගොඩනගාගැනීම, වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා භාෂාව ප‍්‍රබල කාර්යයක් ඉටු කරයි. ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම ආශ‍්‍රයෙන් සිදුකළ සන්නිවේදනයේ සිට නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කිරීමේ තෙක් පැමිණි ඓතිහාසික සන්නිවේදන පරිණාමීය ක‍්‍රියාවලියේ දී ‘භාෂාව’ ගතික ප‍්‍රපංචයක් විය.

මාධ්‍යකෘත පරිසරය තුළ භූගෝලීය සීමා අතික‍්‍රමණය කරමින් භාෂාව ප‍්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. අන්තර්ජාල මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය සඳහා එයට ම අනන්‍ය වූ උප භාෂා නිර්මාණය වෙමින් තිබේ. එහිදී සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රියාවලියේ පැවති සීමා මායිම් අබිබවමින් නව්‍ය භාෂාත්මක සන්නිවේදන අත්දැකීමක් අන්තර්ජාල පරිශීලකයන්ට සමීප කරවයි. තව දුරටත් කියවන්න >>>

සයිබර් සලබයෝ...

ඩිජිටල් අවකාශයේ පියා සලනා  සයිබර් සලබයන් ගැන කියනා අපූරු ගීත නිර්මාණයක්.....එන්න රසවිඳිමු.






සයිබර් සලබයෝ...


ආලයේ දැලේ
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා

සයිබර් සලබයෝ....


ස්පර්ෂ තිර පුරා
රාගයේ මුහුණු පළදා
ඩිජිටල් සළෙලුන්
පික්සල් වනේ පිපෙනා
සින්තටික් මල් සිඹිනා



ගායනය -අමරසිරි පීරිස්
පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
සංගීතය -අමිත් ලියනගේ

බ්ලොග් අවකාශය නිසා සිංහල භාෂාවට එකතු වුනු අලුත් පද

අලුත් මාධ්‍යයක්, අලුත් අවකාශයක් නිසා සිංහල භාෂාවට අලුත් වචන ගනනාවක් එකතු වී තහවුරු වෙමින් තිබෙනවා. පලමුවැන්න තමයි බ්ලොග්. මේක මුලින් ම ඉංගිරිසි භාශාවේ web + log ලෙසින් පද එකතු වෙලා වෙබ්ලොග් වසයෙන් භාවිතා වෙලා පසුව බ්ලොග් බවට පත් වුනා. ඉතින් දැන් ඒක ව්‍යවහාරය නිසා තත්සම පදයක් හැටියට සිංහල භාෂාවටත් එකතු වෙලා. ඒ වටා පද ගණනාවක් වරනැඟී භාවිතයට ඇවිත් තියෙනවා.

බ්ලොග්කරුවා, බ්ලොග් රචකයා, බ්ලොග් ලියන්නා - blogger

බ්ලොග්කරණය - blogging

බ්ලොග් අවකාශය, බ්ලොගවකාශය - blogosphere

“තනි සිංහලෙන්” මේ සඳහා පද නිර්මානය කරන්නත් යම් යම් ප්‍රයත්න දැරුනා වුනත්, ව්‍යවහාරය සහ විෂය ක්ශ්‍රේත්‍රයේ ස්වභාවය නිසා බ්ලොග් එක, බ්ලොග් අඩෙවිය, බ්ලොග් සටහන ආදී වශයෙනුත් විවිධ පැතිවලට පැතිරී මේ පදය තහවුරු වෙලා තියෙන්නෙ. අනිත් අතට සිනමාවේ යෙදෙන්නා සිනමාකරුවා හැටියටත්, එකී කලාව සිනමාකණනය හැටියටත් හඳුන්වන්න පුලුවන් නම් බ්ලොග්කරණයට අදාළ මේ පද මෙසේ පැවතීම ගැන අමුතු අර්බුදයක් පැන නඟින්න විදිහක් නැහැ.

උපුටා ගැනීම :
http://web.alochana.net

වයර් මතින් ගලන සයිබර් සාහිත්‍යය

පුස්තකාලයක ඇති පොතක පිටුවක් ඉරාගෙන යාමෙන්, ඒ පිටුවේ පිටපතක් ගැනීමත් වෙනස් ය. සයිබර් නිර්මාණ රස විඳීමේත් ඒවා සොරකම් කිරීමේත් වෙනස ද එයයි. අනෙක් අතට එය සොරකමක් ලෙස ම දකින්නට හැකියාවක් නොමැත. මන්ද එය වරක් රසිකයන් අතරට ගොස් රසික ප්‍රසාදය උපරිම මට්ටමකට හිමි කොටගෙන අවසන් නිර්මාණයක් විය හැකි බැවිනි.

මුද්‍රිත පොත විදුලි පන්දමක් වැනි ය. ඉන් තම මඟ එළිය කර ගැනීමට හැක්කේ වරකට එක් අයෙකුට පමණි. එහෙත් අන්තර්ජාලගත දැනුම හුළු අත්තක් වැනි ය. ඉන් තවකෙකුට ආලෝකය දල්වා තම මඟ එළි කරගත හැකි ය. මුදල් පිළිබඳ ගැටලුවක් ද බොහෝ විට පැන නොනගී. ලොව පළමු කෘතිය ලෙසට සැලකෙන්නේ මීට වසර 4300කට පෙර මෙසපොතේමියාවෙ හි විසූ එන්හෙඩුඅන්නා නම් කිවිඳිය ඉනානා දෙවඟන වෙනුවෙන් ලියූ කවි එකතුව බව විශ්වාසයක් පමණක් ලෙස සුරැකිව පවතියි. එන්හොඩුඅන්නාත්, සීගිරි කවියත් කර්තෘ අයිතියත් හිමිකරගෙන සිටියා නම් මහාචාර්ය පරණවිතානට සීගිරි ගී පිටපත් කරන්නට නොහැකි වන්නටත්, මෙසපොතේමියානුවන්ට ඒ අභිමානය අහිමි නොවන්නටත් ඉඩ තිබුණි. කර්තෘ හිමිකම දෙපස ම මුවහත් අවියකට සම වනුයේ එහෙයිනි.

අන්තර්ජාලයට දිනෙන් දින එක් වන දැනුම නිසාවෙන් එය සියල්ලදත් (ominiscient) තත්ත්වයට පත් විය හැකි දිනය දුරක නොවේ. අනුන්ගේ නිර්මාණ තමන්ගේ බවට උලුප්පා දක්වන බොළඳ සංකල්ප අප කෙරෙන් දුරස් වූ දිනෙක සැබෑ සයිබරයේ කවි ධර බොහෝ දෙනෙකු විඳගත හැකි වනු ඇත.

මිනිස් ජීවිතය අර්ථවත් කරවන, ජීවිතාවබෝධය ලබා දෙන, මානවවාදය පතුරුවාලන ඇදී කොට සාහිත්‍ය පිළිබඳ යෙදෙන හැඳින්වීම් අතර ට්‍රොට්ස්කි දක්වන අන්දමට යථාර්ථය ඥානය කිරීමේ ක්‍රියාව ද සාහිත්‍ය මඟින් ඉටුවිය යුත්තකි. එසේ නම් තත්කාලීන යථාර්ථය සාහිත්‍යයට කවා පොවා ප්‍රජාව වෙත ගෙන යාමට සයිබර් අවකාශය හැර වෙනත් ප්‍රබල මාධ්‍යයක් ඔබට යෝජනා කළ හැකි ද ?


උපුටා ගැනීම :
ධනුෂ්කා නිෂාදි කුලරත්න
දිනමිණ පුවත්පත