මෑත කාලයේ අන්තර්ජාලයේ ශිඝ්ර ව්‍යාප්තියත් සමඟ සිදුවූ යහපත් සංසිද්ධියක් නම් නව පරපුරේ නිර්මාණකරුවන්ගේ ආගමනයයි. එය කාව්‍යකරණය, ලේඛනය, විචාර, ආදියට පමණක් නොව රංගනය, ගායනය , නිවේදනය වැනි ක්ෂෙත්රයන් කෙරෙහිද බලපෑවේය. කිසිවෙකුගේ උදව්වකින් තොරවම තමන්ගේ හැකියාවන් එළිදැක්වීමට මෙය කදිම ප්‍රවේශ මාර්ගයක් වු නමුත් ඒ සියලු දෙනා අතරින් සැබෑ දක්ෂයින් පමණක් එයින් තම මඟ හෙළි පෙහෙළි කර ගත්තෝය.
ඒ අතරින් ඉන්දික ගුණවර්ධන මතු වුයේ ෆේස්බුක් කවියෙකු ලෙසය. සමාජ ජාලා කවීන් අතර පෙරමුණ ගත් ඔහුගේ පද්‍යයන් ඔහුටම ආවේණික ස්වරූපයක් ගත්තේය.
මේ ඔහු ගැන දිවයින පුවත්පත තැබූ සටහනකි.
ඉන්දිකගේ කවි ඇතුළත නව ආකෘති බොහොමයක් තිබුණි. වචන සමඟ සෙල්ලම් කිරීමේ උමතුව බහුතර කවි තුළ දක්නට ලැබුණි. වචනවලට බිය වී වචනවලට අවනත වන්නවුන් අතර, හේ වචන දමනය කර ගැනීමට සමත් වූවෙකි.
ඒ ප්‍රහර්ෂය විටින් විට කියවන්නා තුළට කඩා වැද්දීමට මෙන් ම, කාන්දු කරවීමට ඔහු සමත් විය. සමකාලීන සමාජය සමඟ හැප්පුණු මේ බොහෝ කවි, එකල එකිනෙකා මුවඟ කියැවෙන ඒවා බවට පත් විය. එහෙත් කවිය විෂයෙහි මේ නව ආකෘති සහ නව දැක්ම එතරම් සුබවාදීව දැකීමට නොහැකි වීමේ කනගාටුව එකී කවිවලට විඳ ගැනීමට සිදු විය.
උත්ප්රාසාසය දනවන හෙයින්ද, කෙටි කවිය ඇතුළතම විශාල කවියක් හුස්ම ගන්නා හෙයින්ද මේ කවි කියැවීමේ වෙනත් මාර්ග ඔහු විසින්ම සම්පාදනය කර දී තිබුණි. සමකාලීන කවිය විෂයෙහි ඉන්දිකගේ බලපෑම සාකච්ඡාවෙන් බැහැරව පැවතීම තවත් එක් කනගාටුවකි. බොහෝ විය අන්තර්ජාල කවි විෂයෙහි බල පවත්නා 'සුළඟේ යන' ස්වභාවය මීට ආසන්නම හේතුව විය හැකි ය. බොහෝ හෙයින් ද, පහසුවෙන් ළඟා විය හැකි හෙයින් ද, මහා කියැවීම ඇතුළත චූලව පවතිනවා යැයි ලේබල් ගසා ඇති හෙයින් ද, මේ නොසලකා හැරීම අරුමයක් නොවේ.
නිවටකම
නැටි
තිබුණනං
අපට
වනල
වනලම
කැඩිල
මෙලහට
ඉන්දික ගුණවර්ධන (හිතේ කෙටූ ටැටූ)
ඒ කවි හරහා සංවාද ගොඩනැඟුණා. මත ගැටුම් ඇති වුණා. දැනුම එක් රැස් වුණා.ඒ හින්දා මේවා කවි කියලා හිතන අය මේවා කවි විදිහට රස විඳින්න. මේවා කවි නෙවෙයි කියලා හිතන අය මේවා කවි නෙවෙයි කියලා හිතාගෙන රස විඳින්න"
බොහෝ නිදහස්කාමී ඒ ප්‍රකාශය, ඔහුගේ කවි අතර රිසි ආකාරයකට එහා-මෙහා ඇවිදින්න ඉඩ සැලැස්වීමක් බඳු ය. ඔහුගේ කවි මඟ පිරික්සීමේදී දක්නට ලැබෙන මේ නිදහස්කාමී ගති ලක්ෂණය, ඔහු සෙසු කවීන්ගෙන් වෙන් කරන බව මගේ නිරීක්ෂණයයි. මේ වෙනස විසින් ම ඔහුට අන්තර්ජාල කවිය ඇතුළත වෙනම හැඳුන්ම්පතක් නිකුත් වීම නොවැළැක්විය හැක්කකි. ඒ වෙනස හේතුවෙන්ම ඔහුගේ කවි මඟ හරහා ගමන් කළ නව කවීන් බොහොමයක් ද සොයාගත හැකි වේ.
එහෙත්, වඩාත් වැදගත් ඉන්දික ගුණවර්ධන තම කෙටි ජීවිත කාලය ඇතුළත තම කවියට තවත් මිනිසෙක් ආකාරයට හැදී වැඩෙන්න ලබා දුන් ඉඩකඩයි. කවියා සහ කවිය අතර ඇති සහ නැති පරතරය ඔහු හසුරුවා ගත් ආකාරයයි.
2016 වසරේ නිකුත් කළ අවන්හල් බළල්ලු සහ සිසිරයේ දිගු රැයක කාව්‍ය සංග්‍රහ ද්විත්වයේ අන්තර්ගත කෙටි කවි සහ දිගු කවි පිරික්සා බැලීමෙන් මේ ලක්ෂණය දැක ගත හැකි ය.
කවියේ වැඩීම සහ කවියාගේ වැඩීම ලකුණු කෙරෙන මේ කෘති, සමකාලීන කවිය ඇතුළත සුපුරුදු පරිදි නොසලකා හැරුණි. මේ පොදු ලක්ෂණය නූතන කවියේ වැඩීම පමා කරන අතර, අතීතකාමී සිහින තුළටම යළිත් කියවන්නා ඇද දැමීමකි. එහෙත්, මේ යුද්ධය ජය ගැනීමට කවි ආයුධ ගෙන සටන් බිමට බට කවියෝ ද සිටින බව පෙනෙන්නට තිබේ. ඉන්දික ඒ සටන් මඟහැරියේ ලිවීමේ උත්කර්ෂය පමණක් බලාපොරොත්තු වූ නිසා විය හැකි ය.
කවියකු පමණක් නොව, ප්‍රකට පරිවර්තකයකු ද වූ ඉන්දික ගුණවර්ධන විසින් නිර්නාමික ඝාතකයා, දකුණු මායිමේ, පීඩිතයෝ, නිදි කුමරියන්ගේ නිවහන නමින් කෘති කිහිපයක් පරිවර්තනය කරන්නට යෙදුණි. එපමණක් නොව, තම දිවි සැරිය නිමා කරන්නට පෙර හෙතම 'සුළි මැද පිපි තඹර' නමින් නවකතාවක් ද පළ කළේ ය.
මේ ඉතා දිගු වන්නට තිබූ දිවි සැරියකි. එහෙත්, අතරමැද තැනක හදිසියේම හෙතෙම නතර වන්නට තීරණය කරගෙන තිබුණි.
පියාසැරිය නතර කළ හෙයින්ම, දැන් ඔහුගේ කවි අහසේ පියාසර කරන්නට පටන් ගෙන ඇත. ඒ පියාසැරියත්, කවියේ පියාසැරියත් දිනෙක එක අවකාශයක හමු වන්නට ඉඩ ඇත. එතෙක් කවිවලට ඉවසීමට සිදුවනු ඇත.
අවාසනාවන්ත අන්දමින් ඔහු කෙටි කලකින්ම ජීවිතයෙන් සමුගත්තද ඔහුගේ කවි තවත් කාලයක් සයිබරයේ සැරිසන්නන් ගේ සිතුවිලි අතර රැදෙනු ඇත.
මේ ඔහුගේ එවන් කවි කිහිපයකි.
ට්‍රැෆික් පොලිස්
----------------------
තැන තැන
හැංගිමුත්තන් නොකර
එන්න
රාළහාමි
එළියට
සෙල්ලං
කරන
වයසක්ද
ඔය?
-----------------****-----------------
පෙට්ටි කීයක් නං
විකුණුවද ඒ ජාමෙ
වහකාල මැරෙන්නයි
වෙන්නෙ මාමෙ
මට නං පෙන්නන්න බෑ
මේ සාමෙ
-----------------****-----------------
අවන්හල් බළල්ලූ
----------------------
වේලාව නියමිතව දැනගෙන
සීත පොළොවේ සුවය විඳගෙන
තැනින් තැන වැටී ඔහෙ නිදියන
අවන්හල් බළල්ලූ
මේසයක් බෙදා වෙන් කරගෙන
වේටර් වරුන් මෙන් ම හැසිරෙණ
මහා මැදියමේ වත් නොනිදන
අවන්හල් බළල්ලූ
දිගැටි සුදු රැවුල් කෙඳි නටවන
නහය හකුළමින් හිස උස්සන
බයිට් එක ඇස් පියා පවසන
අවන්හල් බළල්ලූ
කඩල හෝ අල පෙති ම වළඳන
මේස ගැන ඉවෙන් මෙන් දැනගෙන
අරෝවක් නැතිව මග හැර යන
අවන්හල් බළල්ලූ
කටක් ඇරියොතිං ගුටි බව දැන
ඥාව් හඩ බලෙන් හංගාගෙන
කොල පාට ඇස් වලින් හිනැහෙන
අවන්හල් බළල්ලූ
සෙනග වැඩිපුරම නිති ගැවසෙන
සති අන්ත රැයට පෙම් බඳිමින
කාගෙ කාගෙත් කතා අහුලන
අවන්හල් බළල්ලූ
බයිට් එක තප්පරෙන් වළඳන
හොරට බොන උන් තිතට හඳුනන
ඩේලී කස්ටමර්ස් ලා සළකන
අවන්හල් බළල්ලූ
විටෙක මස් කට්ටකට පොරකන
ඉඳ හිටක පා පහර ඉවසන
දුක සතුට සම සිතින් වළඳන
අවන්හල් බළල්ලූ
No comments:
Post a Comment